Saturday, July 31, 2010

පික්-ප්‍රෝග්‍රැමින් වලට ප්‍රවේශය (introduction to PIC)

ඔන්න අද තමයි පික්-ප්‍රෝග්‍රැමින් වලට ප්‍රවේශ වෙන්න හදන්නේ.මුලින්ම සාමාන්‍ය පරිගණක ප්‍රොසෙසරයක් වැඩ කරන විදිය ගැන සරල විස්තරයක් දෙන්නම්.
සාමාන්‍ය පරිගනක ප්‍රොසෙසරයක මොකක් හරි ක්‍රියාවක්(උදා: ඉලක්කම් දෙකක් එකතු කිරීම) කරන්න අවශ්‍ය වුනොත් ප්‍රොසෙසරයට එකතුකරන්න ඔනේ ඉලක්කම් 2 සහ එකතුකරන්න කියන උපදෙස දෙන්න ඔන. ඊට පස්සේ එයා එයාට ලැබුනු උපදෙස හඳුනා ගෙන ඒ උපදෙස් වල තියන දේ කරනවා ඊට පස්සේ ඊලඟ උපදෙස මේ විදියට දිගටම කරගෙන යනවා.ඇත්තටම මේ අතිශයින්ම සරල පැහැදිලිකිරීමක් පමණයි.මේ ගැන හැදෑරීමට තවත් බොහෝ කරුණු ඇතිබව මතක තබා ගන්න.
ඔබ බොහෝ විට සාමාන්‍ය අයි.සී ගැන දන්නවා ඇති මේවා තුල යම් කිසි කාර්‍යයක් කිරීම සඳහා විශේශයෙන් සැලසුම් කරනලද පරිඵතයක් තියෙනවා.මෙම අයි.සී බොහෝවිට නිර්මාණය කර තිබෙන්නේ නිශ්චිත ප්‍රදානයක්(ඉන්පුට්) ලබාදුන් විට සැලසුම අනුව නිශ්චිත ප්‍රතිදානයක්(අවුට්පුට්) ලබා දීමයි.මේවායේ සැලසුම අනුව යම් කාර්‍යයක් සඳහා සැලසුම් කරනලද අයි.සී එකක් භාවිතා කිරීමට හැකිවන්නේ පටු පරාසයක කටයුතු සඳහා පමනයි.නමුත් අයි.සී එකක් සැලසුම් කරන ලද කාර්යයෙන් පිට භාවිතා කල නොහැකි යැයි මින් අදහස් වෙන්නේ නෑ.උදාහරනයක් ලෙස 4017 කියන අයි සී එක එල්.ඊ.ඩී වලින් විසිතුරු නිර්මාණ කිරීමට බහුලව යොදා ගන්නවා. නමුත් මේ අයි සී එක නිර්මාණයකරලා තියෙන්නේ 0 සිට 10 දක්වා ගනන් කිරීමට(කවුන්ටරයක් ලෙස )
නමුත් පික් කියන්නේ මීට වඩා වෙනස් අයි සී වර්ගයක් ඇත්තටම මේක සර්ව සම්පූර්ණ පරිගනකයක්.මේක කිසිම නිශ්චිත කාර්යයකට සැලසුම් කරලා නෑ.අපට අවශ්‍ය ප්‍රෝගෑම් එකකින් මේ පික් එක ප්‍රෝගෑම් කරලා අපට අවශ්‍ය බොහෝ කාර්යයන් සඳහා යොදාගතහැකියි.මේ නිසා මෙවා සාමාන්‍ය අයි.සී වලට වඩා බොහෝ පුලුල් පරාසයක භාවිතා කල හැකියි.උදාහරනයක් ලෙස ඒක එල්.ඊ.ඩී එකක් නිවි නිවි දැල්වීමේ සිට තනිවම මග සො‍යා ගෙන ගමන් කල හැකි රොබෝ යන්ත්‍රයක් දක්වා පරාසයක් භාවිතා කල හැකියි.මේ පික් එකක සාමාන්‍ය හැඩය අයිසී එකක හැඩයට 100%ක් ම සමානයි.වෙනස තියෙන්නේ ක්‍රියාකාරිත්වයේ විතරයි.

මුලින්ම බලමු මේ පික් වල බාහිර පෙනුම,මේවා විව්ධ ප්‍රමානයෙන් තියනවා මේවා මිලදී ගන්න තියෙන්නේ අයි.සී වගේම අංකයකින් තමා.මේවා නිශ්පාදනය කරන්නේ මයික්‍රෝචිප් කියන ආයතනය අපි පික් කියලා කිවුවාට මේවායේ හරි නම තමා මයික්‍රෝකන්ට්‍රෝලර්.පික් කියන්නේ මයික්‍රෝචිප් කියන ආයතනය මගින් නිශ්පාදනය කරන එක මයික්‍රෝකන්ට්‍රෝලර් ශ්‍රේණියක් පමණයි.අපි කථාකරන්නේ පික් ගැන විතරයි.තව ප්‍රසිද්ද සමාගම් වලින් මයික්‍රෝකන්ට්‍රෝලර් නිශ්පාදනය කරනවා අපි හොඳට දන්න ඉන්ටෙල් සමාගමත් මේවා නිපදවනවා.
සාමාන්‍යෙන් පික්වල අංක තියෙන්නේ මෙහෙමයි මුලින් 12,16,18 වගේ ඉලක්කමක් තියනවා ඒක ඒ පික් ශ්‍රේණිය හඳුනාගන්න තියන අංකයක්.ඊලඟට ඉංග්‍රීසි අකුරක් තියනවා F,C...etc වගේ ඊට පස්සේ පික් එක විශේශිතව හඳුනාගන්න අංකයක් තියනවා 84,629,877වගේ සමහර ඒවායේ අංකයේ අගට ඉංග්‍රීසි අකුරක් තියනවා A වගේ සමහරවිට අගට ඉංග්‍රිසි අකුර තියන සහ නැති එකම අංකය තියන පික් තියනවා(16F84 සහ 16F84A) ඒවායේ පොඩි වෙනස්කම් තියෙන්න පුලුවන්. පික් වල අංක වලට උදාහරණ 16F84,16F877,16F877A,12F629.........

මේ පික් එකක් කියන්නේ සම්පූර්ණ පරිගනකයක් කියලා මම කලින් කිවුවා මතක ඇති.මේකේ තියන බාහිර අග්‍ර හඳුනා ගන්න බලමු.
ඕනම අයි සී එකක අග්‍ර නම් කරන්නේ 1 සිට පිලිවෙලට ඉලක්කම් වලින් පික් එකකත් එහෙම තමා.පික් එකක අංකය ප්‍රින්ට් කර ඇති පැත්ත දිහා හොඳින් නිරීක්ශනය කරාම එක පැත්තක අර්ධ කවාකාර කට්ටයක් තිබෙනවා දැකිය හැකියි.ඒ කට්ටය ඉහල පැත්තට හරවා ගත්තාම ඒ කට්ටයට වම් පැත්තේ කුඩා තිතක් වගේ සලකුනක් කොටලා තියනවා දැකිය හැකියි අන්න ඒ කෙලවරේ සිට තමයි පික් එකේ අග්‍ර නම් කරන්න පටන් ගන්නේ 1 සිට ඉදිරියට පිලිවෙලට අංක වලින් අග්‍ර නම් කරන්න පින්තූරය බලන්න.
මම මේ උදාහරනයට ගත්තේ 16F84 කියන එක.
මේවායේ අංකය අනුව විවිද ඒවායේ විවිද අග්‍ර ප්‍රමානයන් තියනවා.මම උදාහරනයේ ගනිපු එකේ අග්‍ර 18ක් තියනවා. මුලින්ම ඕනෑම පික් එකකට විදුලිය සපයන්න ඕන ඒකට අග්‍ර2ක් තියනවා ඩේටා ශීට් එකක් ගත්තොතින් ඒක නම්කරලා තියෙන්නේ VDD සහ VSS කියලා VDDකියන්නේ + සප්ලයි එක මේක 2V -6V අතර පරාසයේ පික් එක ක්‍රියා කරනවා.නමුත් සාමාන්‍යයෙන් 5V සප්ලයි එකක් තමා දෙන්නේ මේක ඉතා පිරිසිදු සැපයුමක් වියයුතුයි බැටරි පාවිච්චි කරන්න පුලුවන් නම් ඉතා හොඳයි.පවර් පැක් එකක් පාවිච්චි කරොත් 7805 අයි.සී එකක් පාවිච්චි කරලා රෙගියුලේට් කිරීම අත්‍යාවශ්‍යයි.VSS කියන්නේ - සප්ලයි එක මේක පරිපත සටහන් වල GND කියලාත් තියනවා.මේකේ නම් අග්‍ර 5,14.

සාමාන්‍ය පරිගණක ප්‍රොසෙසරයක් නම් නිශ්පාදනය කරපු ක්ලොක් ස්පීඩ් එකට තමා ක්‍රියාත්මක වෙන්නේ (උදාහරන විදියට 2.2GHz,3.2GHz).
ඒත් මේ මයික්‍රෝකන්ට්‍රෝලර් එක ක්‍රියාත්මක වෙන්න නම් බාහිරව ක්ලොක් එකක් සම්භන්ද කරන්න ඕන.මේ ගැන වැඩි විස්තර පරිපථයක් හදාගනිද්දි විස්තර කරලා දෙන්නම්
අපිට මේකට ක්ලොක් එකක් සම්භන්ද කරන්න වෙනම අග්‍ර 2ක් හෝ කීපයක් තියනවා අපි සම්භන්ද කරන ක්ලොක් එකේ වේගයට තමා මේ පික් එක ක්‍රියාත්මක වෙන්නේ සාමාන්‍යයෙන් 4MHz -20MHz පරාසයෙන් ක්ලොක් සම්භන්ද කරන්න පුලුවන් ඒක අවශ්‍යතාවයේ හැටියට තීරනය කරන්න ඕන.
උපරිම ක්ලොක් ස්පීඩ් එක ඩේටා ශීට් එකේ තියනවා.(ඩේටා ශීට් එක මයික්‍රෝචිප් වෙබ් සයිට් එකේ ඩවුන්ලෝඩ් කරන්න තියනවා ).මේ අග්‍ර OSC1/CLKIN,OSC2/CLKOUT කියලා නම්කරලා තියනවා.මේකේ නම් අග්‍ර 15,16.

මේ පික් එකක් බාහිර පරිඵතයක් සමඟ සම්භන්ද කරන අග්‍ර කිහිපයක් තියනවා. මේ අග්‍ර කිහිපයක් එකට එකතු කරලා පෝට් එකක් කියලා හඳුන්වනවා.
සාමාන්‍යයෙන් පෝට් එකක අග්‍ර 8ක උපරිමයකට යටත්ව අග්‍ර 8ක් හෝ ඊට අඩු අග්‍ර ගනනක් තියෙන්න පුලුවන්.
පික් එකක පෝට් එකක් හෝ කිහිපයක් තියෙන්න පුලුවන්.මේ පොර්ට් නම් කරන්නේ පලවෙනි පොර්ට් එක PORTA කියලා සහ දෙවනි එක PORTB කියලා.තවත් තියනවානම් ඒ ක්‍රමයටම නම් කරනවා( PORTC,PORTD.....etc) මේ උදාහරනයේ නම් පොර්ට් 2යි තියෙන්නේ PORTA සහ PORTB.අපේ උදාහරනයේ PORTA වල පින් 5ක් සහ PORTB වල පින් 8ක් තියනවා. මේ පොර්ට් එකම හෝ පෝර්ට් එකේ එක බිට් එකක් අපි ලියන ප්‍රෝගෑම් එක ඇතුලෙදී අපිට අවශ්‍ය පරිදි ඉන්පුට් හෝ අවුට්පුට් විදියට සකස් කර ගන්න පුලුවන්.
පොර්ට්වල එක් එක් පින් එක නම් කරන ක්‍රමයක් තියනවා.
උදාහරනයක් විදියට,
PORTA වල 1වෙනි bit එක RA0 (pin 17),
PORTA වල 2වෙනි bit එක RA1 (pin 18),
PORTA වල 3වෙනි bit එක RA2 (pin 1),
PORTA වල 4වෙනි bit එක RA3 (pin 2),
PORTA වල 5වෙනි bit එක RA4 (pin 3),
සහ
PORTB වල 1වෙනි bit එක RB0 (pin 6),
PORTB වල 2වෙනි bit එක RB1 (pin 7),
PORTB වල 3වෙනි bit එක RB2 (pin 8),
PORTB වල 4වෙනි bit එක RB3 (pin 9),
PORTB වල 5වෙනි bit එක RB4 (pin 10),
PORTB වල 6වෙනි bit එක RB5 (pin 11),
PORTB වල 7වෙනි bit එක RB6 (pin 12),
PORTB වල 8වෙනි bit එක RB7 (pin 13),

මතක තියාගන්න මේ පික් එකේ PORTA 5 bit සහ PORTB එක 8bit එකක්.
මේකේ තියන තවත් වැදගත් පින් කීපයක් තියනවා.ඒවායෙන් වැදගත්ම එක තමයි MCLR කියන එක මේක පාවිච්චි කරන්නේ පික් එකක දැනට තියෙන ප්‍රෝගෑම් එක ඉරේස් කරලා දාන්න. නැවත ප්‍රෝගෑම් කරන්න යද්දි මේක ප්‍රයෝජනවත්.අනික තමා INT කියලා තියන එක පික් එකේ ප්‍රශ්නයක් නිසා ප්‍රෝගෑම් එක නැවත ස්ටාට් කීරීමේ අවශ්‍යතාවයක් ආවොත් වගේ දෙයක් වුනොත් මේ අග්‍රයේ අගය LOGIC HIGH වෙනවා මේක එච්චරම පාවිචිකරන්නේ නෑ.අනෙක තමයි T0CK1 කියන එක මේක තවත් ක්ලොක් ඉන්පුට් එකක් මේක කලින් කියපු ක්ලොක් එකෙන් වෙන්ව(Separatly) පික් එක ඇතුලේ තියන ටයිමර් වැඩකරන්න ඕන වුනොත් පාවිච්චිකරන්න තියන එකක් මේකත් එච්චරම පාවිච්චි වෙන්නේ නෑ.
පික් එකේ බාහිර දේවල් ඉවරයි එකේ අභ්‍යන්තරය තමයි ඊලඟට බලන්න තියෙන්නේ.මෙතැන් සිට සියලුම පැහැදිලි කිරීම් සඳහා මම යොදාගන්නේ PIC16F84A කියන මයික්‍රෝ කන්ට්‍රෝලරය මේක රුපියල් 200-250කට විතර මුදලකට පිටකොටුවේ තියන ඉලෙක්ට්‍රොනික උපකරන අලෙවිසැල් වලින් මිලදී ගන්න පුලුවන්.අතේ සල්ලි තියන වෙලාවක හරි කොටුවේ ගිය වෙලාවක හරි මේ එකක් අරගෙන තියාගත්තොතින් ඉස්සරහට කරන්න තියන දේවල් කරලා බලන්න පුලුවන්.

ඊ ලඟට බලමු මේ පික් එකක් ප්‍රෝගෑම් කරන්නේ කොහොමද කියලා.ඉස්සරවෙලාම අපේ කටයුත්තට ගැලපෙන ප්‍රෝගෑම් එකක් C වලින් හරි ඇසෙම්බ්ලි වලින් හරි ලියලා කම්පයිල් කරගන්න ඔනේ මේකට විශේෂ කම්පයිලර්ස් තියෙනවා(ප්‍රෝගෑම් ලියනකොට මේ ගැන විස්තර කරන්නම්).කම්පයිල් කරාම එන්නේ හෙක්සා-ඩෙසිමල් කෝඩ් එකක් .HEX එක්ස්ටෙන්ශන් එකෙන් . මේක සාමාන්‍ය ප්ලේන් ටෙක්ස්ට් එඩිටර් එකකින් ඕපන් කරලා බලන්න පුලුවන්.ඊට පස්සේ අපේ පික් එක පරිගනකයට සම්භන්ද කරගන්න ඕන.මේක සීරියල් පොර්ට් එක හරහා හරි USB හරහා හරි කරන්න පුලුවන් මෙහෙම සම්භන්ද කරන්න අපිට පොඩි පරිපතයක් අවශ්‍ය වෙනවා මේකට ප්‍රෝගැමර් එකක් කියනවා.USB වර්ගයේ ඒවා මිලදීගන්න වෙලඳපොලේ තියනවා.සීරියල් වර්ගයේ ඒවාත් මිලදී ගන්න පුලුවන් එත් එයින් එකක් ඉතා පහසුවෙන් හදා ගන්න පුලුවන්.බොහොම සරල පරිපතයක් තියෙන්නේ.මෙහිදී ඔන්-බෝඩ් සීරියල් පොර්ට් එක පාවිච්චි කරන්න එපා.භාවිත කරන්නා ගේ අතපසුවීමකින් මවුපුවරුව දැවී යාහැකියි.ඒක නිසා PCI කාඩ් එකකින් සීරියල් පොර්ට් එකක් සම්භන්දකරගන්න සෙකන්ඩ්-හැන්ඩ් කම්පියුටර් පාට්ස් කඩේකින් ඉතා අඩු මුදලකට මෙයින් එකක් ගන්න පුලුවන්.පික් එක පරිගනකයට සම්භන්ද කරාට පස්සේ විශේශ ටූල් එකක් පාවිච්චි කරලා කලින් කම්පයිල් කරපු ප්‍රෝගෑම් එකෙන් පික් එක ප්‍රෝගෑම් කරගන්න ඕන.

පික් එකේ අභ්‍යන්තරය ගැන කතාකරන්න කලින් අවශ්‍ය වෙන මූලික කරුණු කීපයක් සඳහන් කරන්න ඕන.මුල්ම එක තමා රෙජිස්ටර් කියන එක.රෙජිස්ටර් කියන ඒවායින් තමා ඕනම මෙමරි ඩිවයිස් එකක් හැදිලා තියෙන්නේ.අපේ පරිගනකයේත් ඇතුලේ රෙජිස්ටර් ඕන තරම් තියනවා.අපේ පරිගනක ප්‍රොසෙසර් එක ඇතුලේ තියන රෙජිස්ටර් ගැන නම් ගොඩක් අ‍ය අහලාත් ඇති. මේ රෙජිස්ටරයක් යම් කිසි බයිනරි(දෙකේ පාදයේ ) ඉලක්කමක් ස්ටෝර් කරගෙන ඉන්න පුලුවන්.මේ රෙජිස්ටරයක තියාගන්න පුලුවන් බිට් ගනන අනුව තමා ප්‍රොසෙසර් වර්ගීකරනය කරන්නේ.උදාහරන විදියට 32බිට් ප්‍රොසෙසර් එකක් කියන්නේ ඒ ප්‍රොසෙසර් එක ඇතුලේ තියන රෙජිස්ටර් එකක තියාගන්න පුලුවන් වෙන්නේ බිට් 32ක් විතරයි. මේ විදියටම තමයි 64බිට් ප්‍රොසෙසර් එකක් ඇතුලේ තියන රෙජිස්ටර් එකක තියාගන්න පුලුවන් වෙන්නේ බිට් 64ක් විතරයි.අපි කතාකරන පික් කියන්නේ 8බිට් රෙජිස්ටර් තියන ඒවා එක නිසා ඒවා 8බිට් ප්‍රොසෙසර්.ඕනම ප්‍රොසෙසරයක් මොකක් හරි ක්‍රියාවක් කරන්න කලින් ඒකට අවශ්‍ය වෙන සේරම ඩේටා මේ රෙජිස්ටර් වලට ලෝඩ් කරන්න ඕන. මේ රෙජිස්ටර් ප්‍රදාන කොටස් කීපයකට බෙදන්න පුලුවන් .

1.විශේශ කටයුතු සඳහා වෙන්කර ඇති රෙජිස්ටර් (Special purpose registers/Special Function registers).
මේවා පික් එකේ මොකක් හරි වැදගත් ක්‍රියාවක් එක්ක බැඳිලා තියනවා.උදාහරනයක් විදියට පික් එකක රෙජිස්ටරයක් තියනවා ඒකේ තියන අගය අනුව ඒ පික් එකේ තියන පෝට් එකක් ඉන්පුට් හෝ අවුට්පුට් විදියට කන්ෆිගර් වෙනවා.මේවා අපේ ඩේටා ලෝඩ් කරන්න පාවිච්චි කරන්න බැහැ. මේවාට විශේශිත නම් තියනවා උදාහරන ලෙස TMR0, TRISA, TRISB, PCL වගේ.

2.සාමාන්‍ය භාවිතය සඳහා වෙන්කර ඇති රෙජිස්ටර් (General purpose registers).
මේවා අපිට ඕන විදියට පාවිච්චි කරන්න පුලුවන් මේවාට විශේශිත නම් නැහැ මේවාට අපේ ප්‍රෝගෑම් එක ඇතුලෙදි අපට අවශ්‍ය නමක් දෙන්න පුලුවන් මේවා හඳුන ගන්න තියෙන්නේ හෙක්සා ඩෙසිමල් ඉලක්කමක් ඒකට අපි කියනවා රෙජිස්ටර්යේ ඇඩ්‍රස් එක කියලා මේ ඇඩ්‍රස් කලින් කියපු රෙජිස්ටර් වලටත් තියනවා එවායේ ඇඩ්‍රස් තියන පරාසයයි මේ ඇඩ්‍රස් ති‍යන පරාසයයි වෙනස්.
3.ඇකියුමිලේටර් රෙජිස්ටරය(පික් වල නම් වර්කින් රෙජිස්ටරය ) (Accumilator registor/ or working registor in pic).
මේක ගොඩක් වැදගත් එකක් අපිට වෙනත් රෙජිස්ටරයකට මොකක් හරි වැලිව් එකක් ලියන්න ඕන වුනොත් ඉස්සර වෙලා ලියන්නේ මේකට ඊට පස්සේ මේකේ තියන අග‍ය අනෙක් රෙජිස්ටරයට කොපි කරනවා.
මීට අමතරව ඉන්ස්ට්‍රක්ශන් රෙජිස්ටරය (Instruction registor) කියලා එකක් තියනවා ඒක අපට වැදගත් නැහැ.

මෙන්න මෙතන පට්ට pdf ටිකක් තියනවා බලන්න http://www.ent.mrt.ac.lk/web/knowledgebase/

ඊලඟට ලියන්නේ පික් Hello World ප්‍රෝගෑම් එක සහ පරිඵතය.

Sunday, July 25, 2010

ගෙදරදීම PCB හදමු.

[ඉස්සර වෙලාම කියන්න ඕන මේ ක්‍රමය මම හොයා ගත්තේ ඉංග්‍රීසී භාශාවෙන් ලියපු බ්ලොග් එකක් තිබිලා ඒකේ තිබුන කරුනු වලට අමතරව මම ප්‍රායෝගිකව කරන්න ගිහිල්ලා ලබා ගනිපු මගේ අත්දැකීම්නුත් එක්ක තමයි මේක ලියන්නේ.මේ ක්‍රමය මම කරපු හැම වතාවකදීම 100%ක්ම සාර්තක වුනා.]

අවශ්‍ය ද්‍රව්‍ය.
01.පරන සඟරාවක පිටුවක් දෙකක්.
02.කළු සුදු ලේසර් ප්‍රින්ටරයක් (ප්‍රින්ටරයක්ම ඕන නැහැ ප්‍රින්ට් අවුට් එක විතරයි ඕන ).
03.සාමාන්‍ය රෙදිමදින්න ගන්න අයන් එකක්(මිනිත්තු 20කට විතර ).
04.අවශ්‍ය ප්‍රමානයේ කොපර් බෝඩ් කැබැල්ලක්.
05.කලින් සකස්කරගන්නා ලද ෆෙරික් ක්ලෝරයිඩ් දියරය.
06.විම් කැටයක්(මිනිත්තු 5කට විතර ).
07.තිනර්(හෝ පෙට්‍රල් ) ස්වල්පයක් සහ තුනීම වැලිකඩදාසි කෑල්ලක්.
08.තුඩ පුන්චි පර්මනන්ට් මාකර් පෙන් එකක්(සීඩී වල ලියන්න ගන්න පෑනක් ).
09.ප්ලාස්ටික් වයර් එකක්(මැද කම්බිය අයින් කරපු සාමාන්‍ය වයරින් වයර් එකනින් කෑල්ලක් වුනත් කමක් නෑ )
මුලින්ම පරන ස්ඟරාවක පිටුවක් හොයාගෙන ඒක A4 සයිස් එකට කපා ගන්න.මේ ස්ඟරා පිටු හොයා ගනිද්දී පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න කලර් ප්‍රින්ට් කරලා තිබුනාට කමක් නැහැ.හෑන්ඩ් බිල් තරම් ලිස්සන සුලු ඒවා ගැලපෙන්නේ නෑ පත්තර පිටු වගේ රෆ් එවා හරිවන්නේ නෑ මේකට හරියන්නේ පත්තර පිටු තරම් තුනී හෑන්ඩ් බිල් වලට වඩා ටිකක් දිලිසෙනසුලු බවින් අඩු එවා තමයි.තවත් මේකට ගන්න පුලුවන් බැංකු වලින් අයින් කරන ඩොට් මෙට්‍රික්ස් ප්‍රින්ට් අවුන් වලට ගන්න කොල(අර දෙපැත්තේ සිදුරු පේලි 2ක් තියන තුනී කොල ජාතිය )හැබැයි මේව ප්‍රින්ටරයට දාන්න අමාරුයි.මේ මොනවත් හොයා ගන්න නැත්නම් සාමන්‍ය ඒ4 කොල වුනත් කමක් නෑ.
ඊට පස්සේ මේ හොයා ගනිපු කොලේ මත අපේ පීසීබී ඩිසයින් එක ප්‍රින්ට් කරගන්න ඕන.මේකට අනිවාර්ය්‍යෙන්ම ලේසර් ප්‍රින්ටරයක්ම අත්‍යාවශ්‍යයි. ඉන්ක් ජෙට්,බබල් ජෙට්,ෆොටෝ-කොපි හරියන්නේම නෑ(මම ට්‍රයි කරලා තියනවා). ඔයාලගේ පීසීබී ඩිසයින් එක තියෙන්නේ බෝඩ් එකේ යටිපැතෙන් බැලුවාම පේන විදියටනම් ප්‍රින්ට් කරද්දි අනිවාර්ය්‍යෙන්ම මිරර් ඉමේජ් එකක්(කන්නාඩියෙන් පේන වීදියට පැත්ත මාරුකරලා ) තමයි ප්‍රින්ට්කරන්න ඕන.ඒ මොකද කියලා ඉස්සරහදි තේරුම යාවි.පීසීබී ඩිසයින් එක තියෙන්නේ බෝඩ් එකේ උඩ පැත්තෙන් බැලුවාම පේන විදියට නම් මිරර් කරන්නේ නැතිව ප්‍රින්ට් කරන්න.කොහොම ප්‍රින්ට් කරත් 100%ට තමයි ප්‍රින්ට් කරන්න ඕන.සමහරවිට තුනී කොල ලේසර් ප්‍රින්ටරයට ගන්නේ නෑ එහෙම වුනොත් ඒ කොලේ කොන් වලින් විතරක් සාමාන්‍ය A4 එකකට අලවලා ප්‍රින්ට් කරගන්න.
ප්‍රින්ට් කරගනිපු ඩිසයින් එක කොපර් බෝඩ් එකට වඩා සෙන්ටි මීටර් 3ක් විතර වැඩිපුර තියෙන්න කපා ගන්න.
ඊට පස්සේ කොපර් බෝඩ් එක අරගෙන විම් වලින් හොඳට හෝදලා වේල ගන්න.මෙහිදී කොපර් තහඩුව තියන පැත්ත විතරක් පිරිසිදු කරාම ඇති.

ඊට පස්සේ අර කලින් සකස්කරපු පීසීබී ඩිසයින් එක කොපර් බෝඩ් එකේ කොපර් තහඩුව තියන පැත්තට අලවගන්න.ප්‍රින්ට් කරපු පැත්ත කොපර් බෝඩ් එකට හිටින විදියට තමයි අලවගන්න ඕන.අලවද්දී කොපර් බෝඩ් එකේවත් කොපර් බෝඩ් එකමත ස්ඵර්ශ වෙන කඩදාසියේ කිසිම තැනක වත් ගම් තැවරෙන්න දෙන්න එපා.ගම් ගාන්න ඕන අර කඩදාසියේ වැඩිපුර ඉතිරි කරපු කොටස් වල විතරමයි ගම් ගාලා බෝඩ් එකේ උඩ පැත්තට අලව ගන්න මේක ගොඩක් තදට අලවන්න ඔනේ නෑ කඩදාසිය එහේ මෙහේ හෙලවෙන්නේ නැතුව හොඳට ඇදිලා තිබුනාම ඇති


ඊට පස්සේ අයන් එක හොඳට රත්කරලා අර ඩිසයින් එක අලවා ගනිපු බෝඩ් එකේ ඩිසයින් එක තියන පැත්ත(කොපර් තහඩුව තියන පැත්ත ) විනාඩි 5ක් විතර තදින් අයන් කරන්න.මේ අයන් කරද්දී කඩදාසිය බෝඩ් එකෙන් හෙලවෙන්න දෙන්න එපා.එහෙම වුනොත් අපේ වැඩේ තේරුමක් නැති වෙනවා.විනාඩි 5 ට වැඩිවුනාට කමක් නෑ විනාඩි 10 ට වඩා වැඩිවෙන්න දෙන්න එපා එහෙම වුනොත් බෝඩ් එකෙන් කොපර් තහඩුව ගැලවෙන්න පුලුවන්.ඊට පස්සේ අයන් එක අයින් කරලා හෙමිහිට බෝඩ් එක නිමෙන්න දෙන්න නිමෙනකම් අතින් අල්ලන්නවත් එපා ඉක්මනට නිමන්න කියල වතුර දාන්න එපා එහෙම වුනත් බෝඩ් එකෙන් කොපර් තහඩුව ගැලවෙන්න පුලුවන්.මිනිත්තු 20න් විතර ඉබේම නිමෙනවා.
ඊට පස්සේ මේ කොලේ පිටින්ම බෝඩ් එක වතුර එකක ගිල්වලා මිනිත්තු 30ක් විතර තියන්න .ඊට පස්සේ අර කලින් අලවපු කොලේ හොඳින් පෙඟිලා තියෙවි.මේකොලේ පරිසමින් ඇඟිල්ලෙන් පිරිමදින්න එතකොට අර ලේසර් ප්‍රින්ට් එක කොපර් බෝඩ් එකට වැදිලා තියනවා පෙනෙවි.පරිස්සමෙන් කඩදාසිය සම්පුර්ණයෙන් අයින් කරලා දාන්න.මැගසින් කොල නැතිව සාමාන්‍ය කොල ගත්තාම වෙන ප්‍රශ්නේ තමයි මෙහෙම කොලේ අයින් කරද්දී ලේසර් ප්‍රින්ට් එකෙනුත් කෑලි ගැලවිලා අයින් වෙනවා.ගොඩක් පරිස්සමෙන් තමයි කරන්න වෙන්නේ.කොහොම හරි වෙන්න ඕන ලෙසර් ප්‍රින්ට් එක බෝඩ් එකේ තඹ තහඩුවට කොපිවෙන එක.කඩදාසිය සම්පූර්නයෙන් අයිනකරන්න .දැන් තේරෙන්න ඇති මිරර් කරලා ප්‍රින්ට් කරන්න කිවුවේ ඇයි කියලා.


ඊට පස්සේ අපේ බෝඩ් එක ඩිසයින් එකත් එක්ක පරිස්සමෙන් සංසන්දනය කරලා බලන්න ලේසර් ප්‍රින්ට් එක වැදුනේ නැති තැන් තියනවාද කියලා(සමහර වෙලාවට ගොඩාක්ම සිහින් පාත් කැඩි කැඩි වගේ තියෙවි ) එහෙම එවා තියනවානම් මාකර් එකෙන් ඒවා නිවැරදි කරන්න.සමහර වෙලාවට මහත පාත් වල මැද සිදුරු වගේ තියෙවි ඒවත් නිවැරදි කරන්න.


ඊට පස්සේ ප්ලාස්ටික් වයර් එක අරගෙන අපේ බෝඩ් එක රඳවා ගන්න පුලුවන් ආධාරකයක් හදාගන්න.
ඊට පස්සේ ෆෙරික් ක්ලෝරයිඩ් ටිකක් ප්ලාස්ටික් භාජනයකට දාලා, අපේ බෝඩ් එක අපේ අධාරකයේ රඳවලා ,බෝඩ් එක දියරයේ ගිල්වන්න.

ඊටත් පස්සේ මිනිත්තු 10න් 10ට ඉවතට අරගෙන බෝඩ් එකේ අපට අවශ්‍ය නැති කොටස් සම්පූර්නයෙන් ඉවත් වෙලාද කියලා බලන්න.අපට අවශ්‍ය නැති කොටස් සම්පූරන්යෙන්ම අයින් වුනාට පස්සේ බෝඩ් එක ඉවතට අරගෙන පිරිසිදු ජලයෙන් 3-4 පාරක් හෝදගන්න.

ඊට පස්සේ බෝඩ් එක තිනර් හරි පෙට්‍රල් වලින් හරි හොඳින් හෝදන්න(පර්මනන්ට් මාකර් එකෙන් පාටකරපුවා අයින් වෙන්න ).පස්සේ තුනීම වැලිකඩදාසියකින් මැදලා ලේසර් ප්‍රින්ට් එක අයින් කරගන්න,පසුව විම් වලින් හෝදලා බෝඩ් එක සුද්ධ කර ගන්න.
අන්තිමට අපේ බෝඩ් එකේ දාර වැලිකඩ දාසියකින් මැදලා අවශ්‍ය තැන් වල සිදුරු විදලා ගන්න.
පස්සේ උපකරන පාස්සලා ටෙස්ට් කරලා බලන්න පුලුවන්.මම ඉදිරියට පලකරන්න බලාපොරොත්තු වෙන සේරම සර්කිට් වලට පීසීබී ඩිසයින් එකත් දෙනවා.ඕන කෙනෙකුට හදාගන්න ලේසි වෙන්න.



ඊලඟට introduction to PIC

Wednesday, July 21, 2010

අපේ ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් අපිම හදාගනිමු!

අද පෝස්ට් එකෙන් කතා කරන්න හදන්නේ ගෙදරදීම ලස්සනට ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් හදා ගන්නේ කොහොමද කියලා.ඒත් ඒකට කලින් ප්‍රින්ටඩ් බෝඩ් ගැන පොඩි විස්තරයක් කරන්නම් ආදුනිකයෙකුට ගොඩක් ප්‍රයෝජනවත් වේවි.
ප්‍රින්ටඩ් බෝඩ් එකක් කියන්නේ ඉපොක්සි(ෆයිබර්‍ර ග්ලාස් වගේ දෙයක්) වලින් හදපු තුනී බෝඩ් වර්ගයක්. මේකෙ යට පැත්තේ තඹ වලින් විදුලිය ගමන් කරන්න සකස් කරපු පාත් තියනවා.මේ බෝඩ් එකේ ඉහල පැත්තේ ප්‍රින්ට් කරලා තියනවා සවිකරන්න ඕන උපකරණ. අපි වෙලඳපොලෙන් මේ බෝඩ් එකක් මිලදී ගත්තොත් නම් අපිට තියෙන්නේ උපාංග ටික සවි කරලා යටිපැත්තෙන් ඊයම් වලින් පාස්සන්න විතරයි.හැබැයි අපට අවශ්‍ය හැම සර්කිට් එකකටම අවශ්‍ය බෝඩ්ස් මිලදී ගන්න විදියක් නැහැ.අනිත් එක තමයි අපිම ප්‍රින්ටඩ් බෝඩ් හදා ගත්තොත් ගොඩක් අඩුවියදමෙන් හදා ගන්න පුලුවන්.
මේක වයිට් කොලර් ජොබ් එකක් නෙමෙයි කියලා ඉස්සර වෙලාම කියන්න ඕන. රසායන ද්‍රව්‍ය එක්ක කරන වැඩක් තියනවා ඒක නිසා පොඩ්ඩක් ප්‍රවේසමෙන් තමයි කරන්න වෙන්නේ.
මුලින්ම මෙක කරන්න අවශ්‍යවෙන මූලික සංකල්ප ටික කියන්නම්. මේකට අපිට අවශ්‍ය වෙනවා කොපර් ක්ලැඩ් බෝඩ්(කොපර් බෝඩ් කියලත් කියනවා) කැබැල්ලක්.මේවා සාමාන්‍ය වෙරෝ බෝඩ් 1ක් තරමට ගනකම තියන බෝඩ් වර්ගයක් හැබයි මේකේ සිදුරු මොනවත් නැහැ යට පැත්තේ තියෙන්නේ තනි කොපර් තහඩුවක්.ඇත්තටම ප්‍රින්ටඩ් බෝඩ් කියලා කියන්නේ මේ කොපර් ක්ලැඩ් බෝඩ් එකක්ම තමයි මේකේ යට පැත්තේ තියන තනි තඹ තහඩුවේ අපිට අනවශ්‍ය කොටස් ටික අයින් කරලා අපිට අවශ්‍ය කරන පාත් වල හැඩයට තඹ ඉතුරු කරගෙන අවශ්‍ය තැන් වල උපකරණ සවි කරන්න සිදුරු සකස් කරලා තියනවා.මේ අනවශ්‍ය තඹ කොටස් ඉතුරු කර ගන්නේ රසායනික ක්‍රමයක්.එකේ පියවර ටික මෙහෙමයි.

01.අවශ්‍ය පරිඵතයට සරිලන ප්‍රින්ටඩ් බෝඩ් සටහනක් සොයා ගැනීම හෝ සකස් කර ගැනීම
02.අවශ්‍ය ප්‍රමානයට කොපර් ක්ලැඩ් බෝඩ් කැබැල්ලක් කපා ගැනීම.
03.කොපර් බෝඩ් කැබල්ල විම් වලින් හොඳින් පිරිසිදු කර ගැනීම (තඹ සහිත පැත්ත )
04.කලින් සකස් කරගනිපු ප්‍රින්ටඩ් බෝඩ් සටහන කොපර් බෝඩ් එක මත ඇඳගැනීම.මේ සඳහා අනිවාර්ය්‍යයෙන්ම ජලයෙන් සේදී ඉවත් නොවන තීන්ත වර්ගයක් පාවිච්චි කරන්න.
05.ෆෙරික් ක්ලෝරයිඩ් කැට දියකරලා සකස් කරගන්නා ලද හෝ වෙලඳ පොලෙන් මිල දී ගත් ෆෙරික් ක්ලෝරයිඩ් ද්‍රාවනයක, අනවශ්‍ය කොපර් කොටස් සියල්ල ඉවත් වනතෙක් සකස් කරගන්නා ලද කොපර් බෝඩ් එක ගිල්වා තැබීම.
06.පසුව කොපර් බෝඩ් එක ද්‍රාවනයෙන් ඉවතට ගෙන හොඳින් සෝදා වියලා,අවශ්‍ය තැන් වල සිදුරු විද භාවිතා කිරීම.

මී ලඟට ඉහත පියවර එකින් එක කරගන්න විදිය බලමු.

01-පියවර
මෙක එච්චරම අමාරු නැහැ ගොඩක් ජනප්‍රිය පරිඵත වලට නම් නෙට් එකේ හෙවුවොත් හොයා ගන්න පුලුවන්.එහෙම හොයාගන්න බැරිවුනොත් පී.සී.බී ඩිස්යිනින් ටූල් එකක් පාවිචි කරලා එකක් අපිටම හදාගන්න පුලුවන්.මේකට ජනප්‍රියම ටූල් එක තමයි ඊගල් පීසීබී කියන එක.එත් මම නම් පාවිච්චි කරන්නේ පිසීබී ක්‍රියේටර් කියලා ටූල් එකක් පොඩ්ඩක් නෙට් එකේ සර්ච් පාරක් දැම්මොත් ඕනතරම් ෆ්‍රී ටූල්ස් හොයාගන්න පුලුවන්.කොහොමත් එකම ටූල් එකක් දිගටම පාවිචිකරන එක හොඳයි මම හිතන්නේ.

02-පියවර
මේක කලින් එකටත් වඩා ලේසියි.ප්‍රින්ටඩ් බෝඩ් ඩිසයින් එක ඇඳගන්න පුලුවන් අවම සයිස් එකේ කොපර් බෝඩ් කැබැල්ලක් කපා ගන්න ඕනේ.මේ කොපර් බෝඩ්ස් මිලදී ගන්න තියෙන්නේ එක්කෝ කිරලා කිලෝ ගානට නැත්තම් එක එක ප්‍රමානයේ සයිස් වල කැබලි විදියට(උදාහරන විදියට අඩි1x1,අඟල්6x6). ලාභම විදියතමයි කිරලා ගන්න එක එත් නිතරම පීසීබී හදන්නේ නැත්නම් එක ගොඩක් පාඩුයි(කිලෝ එකක මිල ටිකක් ලොකුයි ඒ වගේම විශාල බෝඩ් කැබැල්ලකුත් ලැබෙනවා ) නැත්නම් කැබලි විදියට ගන්න කොට තියන ලොකුම ප්‍රමානයේ එක ගත්තාම එක වර්ග අඟලකට අඩුම වියදමක් යනවා.කොහොම හරි පීසීබී ඩිසයින් එකට වඩා සෙ.මී 0.5ක් විතර ලොකු කොපර් බෝඩ් කැබැල්ලක් කපා ගන්න එක ලේසියි.මේක කපා ගන්න හයි ස්පීඩ් හැක්සෝ බ්ලේඩ් එකක්(ලෝහ කැපීමට ගන්නා කියත් පටියක්/යකඩ කියත් පටියක්) පාවිචි කරන්න පුලුවන්.මෙහිදී සැලකිලිමත් වෙන්න ඕනේ කොපර් තහඩුව තියන පෘශ්ඨය උඩට තියන විදියට තියා ගෙන කැපීම සිදුකරගන්න.මෙහෙම කරහම කොපර් තහඩුව බෝඩ් එකෙන් ගැලවිලා යන්න තියන සම්භාවිතාව අඩුයි.

03-පියවර
මේක සේරටම වඩා ලේසියි අම්මගෙන් ඉල්ල ගන්න විම් කැටේ ඊට පස්සේ ස්පොන්ජ් කෑල්ලක විම් ටිකක් ගාලා කොපර් බෝඩ් එකේ තඹ තහඩුව තියන පැත්ත හොඳට සුද්ධ කර ගන්න.ඊට පස්සේ කොපර් බෝඩ් එක හොඳට වියලා ගන්න.ආ මතක ඇතුව විම් කැටේ ආපහු අම්මට දෙන්න.පස්සේ අම්මගෙන් ඉල්ල ගන්න තවත් දේවල් තියනවා විම් කැටේ දුන්නේ නැත්නම් ඒවට සොරි තමයි!



04-පියවර
මේක තමයි අමාරුම එක.දැන් අපි කලින් හදාගනිපු පීසීබී ඩිසයින් එක කොපර් බෝඩ් එකට පිටපත් කර ගන්න එක බලමු.එක ක්‍රමයක් තමයි අතින් අඳින එක කරන්න ඕනේ පීසීබී ඩිසයින් එක කාබන් කොලයක් තියල කොපර් බෝඩ් එකට පිටපත් කරලා ඒ පාත් සේරම වතුරෙන් සේදී නොයන තීන්ත ජාතියකින් පාට කර ගන්න එක මේකට පර්මනන්ට් මාකර් පෙන් තමයි සාමන්‍යයෙන් පාවිච්චි කරන්නේ පුන්චි තුඩක් තියන මාකර් එකක් නම් වඩා හොඳයි(මතක ඇතුව පර්මනට් මාකර් එකක් හොයාගන්න මේවායින් ලිවුවාම මැකෙන්නේ නෑ).මතක ඇතුව මෙකෙන් අඳිද්දී ගොඩක් තදට පාට කරන්න 2 වතාවක් වත් එක ඉරක් උඩ අඳින්න ඕන.විකල්පයක් විදියට ටිපෙස්ට්(අර පෑන් වලින් ලිවුවාම මකන්න ගන්නේ) පාවිච්චි කරන්න පුලුවන්.එහෙම නැත්නම් නිය ආලේපන /කියුටෙක්ස් (මේවා නැත්නම් නංගිගෙන් හරි ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙන් හරි ඉල්ලගන්න)පාවිච්චි කරන්නත් පුලුවන් මේක පින්සලකින් ගාන්න ඕන නිසා අඳින්න පොඩ්ඩක් අමාරුයි හැබයි මෙවා වතුරට කොහොමවත් දිය වෙන්නෙ නැති නිසා මේක අනිත් දෙකටම වඩා හොඳයි මම හිතන්නේ.කොහොම හරි අන්තිමට වෙන්න ඕන පීසීබී ඩිසයින් එක නිවැරදිව කොපර් බෝඩ් එක මතට පිටපත්කර ගැනීමයි.මෙහීදී සැලකිලිමත් වෙන්න ඕන ප්‍රින්ටඩ් බෝඩ් ඩිසයින් එක නිවැරදි පැත්තටද පිටපත් වෙලා තියෙන්නේ කියලා මීට හේතුව වෙන්නේ සමහර ටූල් වලින් ඩිසයින් කරන බෝඩ් එකට පිටපත් කරන්න වෙන්නේ මිරර් කරලා(පින්තූරය කණ්නාඩියකින් බැලුවාම පෙනෙන විදියට පැත්ත මාරුකරලා)ඩිසයින් එක කොපර් බෝඩ් එකට ගන්න තියන එකම ක්‍රමය මේක නෙමෙයි.තව ක්‍රම බොහොමයක් තියනවා.උදාහරනයක් විදියට බෝඩ් විශාල ප්‍රමාණයක් නිශ්පාදනය කරනවා නම් සිල්ස්ක්‍රීන් ප්‍රින්ට් (ස්ක්‍රීන් ප්‍රින්ටින් ) ක්‍රමයට ඩිසයින් එක බෝඩ් එකට ප්‍රින්ට් කරන්න පුලුවන්.අපිට ගෙදරදී කරන්න පුලුවන් ගොඩක් ලේසි විදියක් මම අන්තිමට සඳහන් කරන්නම් මේ විස්තර හුදෙක් දැනුම සඳහායි.

05-පියවර
මේක තරමක් පරෙස්සමෙන් කරන්න වෙන පියවරක්.රසායන ද්‍රව්‍ය එක්ක වැඩකරන්න වෙන්නේ.මුලින්ම ෆෙරික් ක්ලෝරයිඩ් කැට හරි දියරය හරි ඉලෙක්ට්‍රොනික් කඩේකින් හරි කෙමිකල් ස්ටෝස් එකකින් හරි ගන්න පුලුවන්.සකස් කරපු දියරය ගත්තොත් වැඩේ ලේසියි හැබැයි ගාන පොඩ්ඩක් වැඩියි.කැට ගත්තොතින් අපිට දියරය හදාගන්න වෙනවා මේකේ වාසි තියනවා ෆෙරික් ක්ලෝරයිඩ් වාතයට නිරාවරනය වෙලා ගොඩක් දවසක් තිබුනොත් එක ටිකක් සවුත්තු වෙනවා එක නිසා දියර මිලදී ගත්තොත් පොඩ්ඩක් පරිස්සමෙන් අරන් තියන්න වෙනවා.කැට මිලදී ගත්තොත් අපට අවශ්‍ය ප්‍රමානය විතරක් දියකරගන්න පුලුවන්.මේ කැට අනිවාර්ය්‍යෙන්ම ප්ලාස්ටික් හෝ වීදුරු භාජන වල තමයි දියකරන්න ඕන.මේ කැට මිලදී ගත්තාට පස්සේ පාවිචිකරනකම් සීල් කරපු පොලිතින් කවරයක දාලා ප්ලාස්ටික් ටින් එකක වාත‍ය ඇතුලු වෙන්නේ නැති විදියට ආවරනය කරලා තියන්න ඕන.මෙවාට හුලං වැදුනොත් දියකරන්න ඉතා අපහසු ජෙලි වගේ තත්වයකට පත්වෙනවා.මේ කැට දිය කරන්න ඕන මෙහෙමයි සාන්ද්‍රනය ඉතා වැදගත්.සාන්ද්‍රනය ෆෙරික් ක්ලෝරයිඩ් ග්‍රරෑම් 50 :පිරිසිදු ජලය මිලිලීටර්100,
(0.5ලීටරයටකිලෝග්‍රෑම්/0.5Kgl-1) පොඩ්ඩක් පුරුදු වුනාම සාන්ද්‍රනය අඩු වැඩිකරලා පාවිච්චි කරන්න පුලුවන්.මේවා දියකරන්න ඕන මෙහෙමයි අනිවාර්ය්‍යෙන්ම ප්ලාස්ටික් භාජනයක් අරගන්න ඒකට මේ කැට දාලා යාන්තමට අතදාන්න පුලුවන් තරමේ උනුසුම් ජලය අවශ්‍ය තරමට සෙමේන් එකතු කරන්න.ඒ එකතු කරන ගමන් වීදුරු හෝ ප්ලාස්ටික් කූරකින් හොඳින් කවලම කරන්න.කිසිම වෙලාවක ලෝහ මේ ද්‍රාවනයට එකතු වෙන්න දෙන්න එපා.මේවා දිය කරද්දී මුහුන මේ ද්‍රාවනයෙන් හැකිතාක් ඈත් කරලා තියාගන්න අතින් අල්ලනවා නම් අනිවාර්යෙන්ම ග්ලවුස් 2ක් පාවිච්චි කරන්න.මේ කැට හරි දියර හරි රෙදිවල(අනෙක් දේවල් වල වුනත් මෙහෙම තමයි ) තැවරුනොත් කරන්න දෙයක් නෑ අයින් කරන්න කිසිම විදියක් නෑ. ඒ වගේම තමයි මේක ඇස්වල තැවරුනොත් වහාම ඩොක්ට කෙනෙක්ට පෙන්වන්න වෙනවා.ඒ වගේම තමයි මේ දියර හරි කැට හරි පුන්චි ලමයින්ට අහුවෙන තැන් වල තියන්න එපා.
මේ දියරය සකස් කරාට පස්සේ කලින් සකස් කරපු කොපර් බෝඩ් එක මේ දියරයේ ගිල්වලා තියන්න වෙනවා.මේකට පතුල ගොඩක් පැතලි භාජනයක් හොයා ගත්තොත් වැඩේ ලේසියි දියරය ඉතා කුඩා ප්‍රමානයකින් සම්පුර්ණ බෝඩ් එකම වැහෙන්න සකස් කරගන්න පුලුවන්.බෝඩ් එක මේ දියරයේ ගිලවන්න කලින් ප්ලාස්ටික් නූලක් බෝඩ් එකට ගැට ගහන්න.දියරයේ ගිල්වුවාට පස්සේ විනාඩි 5න් 5ට පිටතට අරන් බලන්න අපිට අනවශ්‍ය තඹ කොටස් සියල්ල ඉවත් වෙලාද කියලා අනවශ්‍ය කොටස් සම්පූර්ණයෙන් අයින් වුනාම බෝඩ් එක ද්‍රාවනයෙන් වහාම ඉවත් කරගෙන පිරිසිදු ජලයෙන් සෝදා පිරිසිදු කරගන්න.

06-පියවර
ඊට පස්සේ තිනර් වගේ දෙයකින් අපි අර ඇඳපුවා අයින් කරගන්න .ඊටත් පස්සේ ආපහු විම් වලින් හොඳට හෝදලා වියලලා ගන්න.ඊට පස්සේ අවශ්‍ය තැන් වල සිදුරු විදලා පාවිච්ච්යට ගන්න පුලුවන්. සිදුරු විදිද්දී 0.8mm - 1mm වගේ කටුවක් පාවිච්චි කරන්න.මේ තරම් පුන්චි කටු සාමන්‍ය ඩ්‍රිල් එකකට සවිකරන්න බෑ මම නම් පාවිච්චි කරන්නේ මා විසින්ම සකස් කර ගනිපු ඩ්‍රිල් එකක් තමයි.ඔයාලටත් හදාගන්න හැටි අවශ්‍යනම් කමෙන්ට් එකක් දාන්න(රුපියල් 400ක් විතර වියදම් වුනා ). කඩේ ගන්නත් තියනවා හොයන්න අමාරුයි මිල රුපියල් 1750ක් හෝ ඊට වඩා වැඩියි.ඩ්‍රිල් කටුවක් නම් රුපියල් 25ක් විතර තමයි වෙන්නේ.

මීලඟට ලියන්නේ පීසීබී හදාගන්න මම ප්‍රායෝගිකව පාවිච් කරන ක්‍රමය.

Monday, July 19, 2010

Bread boards භාවිතා කරන්නේ මෙහෙමයි..!

මුලින්ම කියන්න ඕන ආධුනිකයින්ට නම් මේ බෝඩ් තමයි වඩාත්ම හොඳ.හේතුව තමයි මේ බෝඩ් වල පරිඵත සකස් කරද්දී පෑස්සීමක් සිදුකරන්නෙ නැති නිසා උපකරණ නැවත නැවත පාවිච්චි කරන්න පුලුවන් අත්දැකීම් අඩු අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් මොකක් හරි පොඩි වැරදීමක් වුනත් පාස්සන්නේ නැතිව පහසුවෙන් නිවැරදි කර ගන්න පුලුවන්.පරිඵතය නිවැරදිව ක්‍රියා කරන බව දැන ගත්තාට පස්සේ ස්තිර පුවරුවක් මත පාස්සලා පාවිච්චි කරන්න පුලුවන් මේ නිසා මුදල් ඉතිරි වෙනවා.දැන් මේක පාවිච්චි කරන්නේ කොහොමද කියලා බලමු.මේ බෝඩ් එකක් රු.300 ට විතර ඉලෙක්ට්‍රොනික් උපකරන අලෙවි සැලකින් මිලදී ගන්න පුලුවන්.


සාමාන්‍ය බෝඩ් එකක පින්තූරයක් මෙතන තියනවා.මේකේ ට්‍රාන්ස්පේරන්ට් කලර් වලින් මම මේ දාලා තියන ඉරි වලින් x y කියලා නම් කරලා තියන ඉරි හතර තියෙන්නේ පවර් සප්ලයි වලට ඒ ඉරි මම රතු සහ නිල් පාට වලින් ඇඳලා තියන විදියට ඇතුලතින් සම්භන්ද වෙලා තමයි තියෙන්නේ.රතු පේලියට කෙලවරකින් පවර් සප්ලයි එකේ පොසිටිව් එක සම්භන්ද කරාම ඒ පේලියේ ඕනෑම සිදුරකට කම්බියක් ප්ලග් කරලා පොසිටිව් කරන්ට් එක ලබා ගන්න පුලුවන්.නිල් පාට තීරුව පොසිටිව් එකටම සමානයි වෙනසකට තියෙන්නේ නෙගෙටිව්(ග්‍රවුන්ඩ්) සප්ලයි එක තමයි මේ නිල් පාට තීරුවට දෙන්න ඕන.
මැද තියන අනෙක් තීරු මම රතු පාටට ඇඳලා තියන විදියට පේලි ,පේලි විදියට තමයි සම්භන්ද වෙලා තියෙන්නේ.පවර් සප්ලයි පාත් වලට විරුද්ද පැත්තට තමයි මේ සාමාන්‍ය පාත් සම්භන්ද වෙලා තියෙන්නේ.
මම මේ පින්තූරයේ දාලා තියන පුංචි උදාහරනයේ තියෙනවා අයි.සී එකකට පවර් සප්ලයි එක දෙන විදිය මේක පොඩ්ඩක් බැලුවම තේරුම් ගන්න පුලුවන් කොහොමද සංකීර්න පරිපතයක් මේ බෝඩ් එකක් උඩ අටව ගන්නේ කොහොමද කියලා.තවත් විශේශයෙන් කියන්න ඕන දෙයක් තියනවා මේ බෝඩ් වලට සාමාන්ය සර්කිට් වයර් සම්භනද කරන්න අපහසුයි ඒක නිසා මේ බෝඩ් වලට සම්භන්ද කරන්න විශේශ වයර් වර්ගයක් තියනවා. ඒ වයර් වල ඇතුලේ තියෙන්නේ එච්චර ෆ්ලෙක්සිබල් නැති කම්බියක් මේවාත් ඉලෙක්ට්‍රොනික උපකරන අලෙවිසැල් වලින් බොහොම අඩු මුදලකට ගන්න පුලුවන්.මේකේ තීරු අතර හරි පේලි අතර හරි සමභන්ද කරන්න අවශ්‍යතාවයක් ආවොත් එකට අර්ත් වයර් එකක් සුද්ධ කරලා ඒක ඇතුලේ තියන කම්බි ටික ලිහලා එවායින් එක කම්බියක් කපලා ගන්න පුලුවන්.
මේ වීඩියෝ දෙකත් බලන්න තවත් ප්‍රශ්න තියනවානම් කමෙන්ට්ස් වලට දාන්න මම උත්තර දෙන්න සූදානම්.



Tuesday, July 13, 2010

සමාවෙන්න ප්‍රමාදයට....!

බ්ලොග් එක ලියන්න වෙලාවක් හොයා ගන්න බැරිවෙන තරමටම වැඩ වැඩි වෙලා ති බුන නිසා ලියන්න බැරි වුනා ඒ ගැන මුලින්ම සමාව ඉල්ලනවා.මම බ්ලොග් එකට දාන්න හදා ගනිපු ඉමේජස් එහෙම ආපහු හොයාගන්නත් ඕනේ.
මේ දවස් වල එක්සැම් ඒක නිසා අද නම් ලියන්න විදියක් නෑ ඒත් සිකුරදා(ජූලි 16 )එක්සෑම් ඉවරයි.සිකුරාදා ඉඳලා සතියකට සැරයක් ලියනවා.මේ දවස්වල මම පික් ප්‍රෝග්‍රෑමින් වලින් පොඩි වැඩකුත් කරගෙන යනවා ඒක ගැනත් ලියන්න හිතාගෙන ඉන්නවා.මම නවත්තපු තැන ඉඳලා බ්ලොග් එක ආපහු ලියනවා ඊ ලඟට ලියන්නේ බ්‍රෙඩ් බෝඩ් වල කොහොමද නිවරදිව පරිඵතයක් අටවගන්නෙ කොහොමද කියලා සහ ගෙදරදීම කොහොමද ප්‍රින්ටඩ් සර්කිට් බෝඩ් එකක් ඉහල නිමවක් සහිතව හදා ගන්නේ කියලා.එහෙනම් සිකුරාදාට ලියනකම් ආයුබෝවන්!